
පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමා කඩිනමින් පැවැත්විය යුතු බවටත්, ඒ සඳහා 2017 අංක 17 දරන පනත හඳුන්වා දීමට පෙර පැවති පැරණි මැතිවරණ ක්රමය යළි ක්රියාත්මක කළ යුතු බවටත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 41ක් පුළුල් එකඟතාවකට පැමිණ තිබේ. පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේදී ඊයේ (26) දින සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති අතර, ඊට අදාළ ඒකාබද්ධ ප්රකාශයකට ද එම පාර්ශ්වයන් විසින් එහිදී අත්සන් තබන ලදී.
මෙම සාකච්ඡාව සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 42ක් සම්බන්ධ වී සිටි අතර, ඉන් එක් දේශපාලන පක්ෂයක් හැර අනෙකුත් සියලුම පාර්ශ්ව අදාළ ඒකාබද්ධ ප්රකාශයට අත්සන් කර තිබේ. එම ඒකාබද්ධ ප්රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මෙන්ම ආණ්ඩු පක්ෂය වෙත ද යොමු කිරීමට අදාළ හමුවේදී තීරණය වී ඇත. ඊට අමතරව, ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය සියයට 25ක ප්රතිශතයක් ලෙස සහතික කිරීමට ද සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මෙහිදී හිමිවී තිබීම විශේෂත්වයකි.
දේශපාලන පක්ෂ ලේකම්වරුන්, නියෝජිතයින් සහ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, මැතිවරණය කල් යාමට බලපෑ හේතු සහ එය කඩිනමින් පැවැත්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇත.
මෙම අවස්ථාව සඳහා විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් සහ පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් හිටපු අමාත්ය ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. එසේම දෙවන පරපුර පක්ෂයේ ප්රධාන ලේකම් උවිඳු විජේවීර, එක්සත් සමාජවාදී පක්ෂයේ ප්රධාන ලේකම් සිරිතුංග ජයසූරිය, ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී ෂානක්කියන් රාසමාණික්කම්, ශ්රී ලංකා මහජන පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති සමීර සේනානායක, ඊ.පී.ඩී.පී. මධ්යම කාරක සභික එම්.අයි. මුරුගන් මෙන්ම එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්රසේකර ද මීට එක්ව සිටියහ.
ඊට අමතරව අඛිල ඉලංගෙයි ද්රවිඩ මහාසභා පක්ෂයේ නායක ආචාර්ය කේ. විග්නේෂ්වරන්, දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන්, එක්සත් වාමාංශික පෙරමුණේ මධ්යම කාරක සභික ආචාර්ය ජයම්පති වික්රමරත්න, මලෛයග අරසියල් අරංගම් ප්රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. තිලකරාජ්, ජනසෙත පෙරමුණේ සභික ඩබ්.ඩී.එස්. වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වීරසුමන වීරසිංහ, සමාජවාදී ජනතා පෙරමුණේ සාමාජික විල්ෆ්රඩ් ජයසිංහ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ සාමාජික ජී. තිලකසිරි, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් සහ පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් නාලක පෙරේරා යන මහත්වරුන් ද විපක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජනය කරමින් 'විව්' ආයතනයේ අනුශාසක මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය, ප්රජාතන්ත්රවාදී මැතිවරණ නිරීක්ෂණ හා අධ්යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක, කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් සහ ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්ර යන මහත්වරු ද ඊට සහභාගී වී තිබේ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම හමුවට ජාතික ජන බලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්ය නිහාල් අබේසිංහ මහතා එක්ව සිටි අතර, පළාත් සභා ඡන්ද විමසීම සඳහා යොදාගත යුතු මැතිවරණ ක්රමය පිළිබඳව සොයා බලා යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සිව්දෙනා ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.