පැරිසියේ වෙසෙන 58 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අරී හොඩාරා, යුරෝ 100ක් වැනි සුළු මුදලකට ලෝක ප්‍රකට පැබ්ලෝ පිකාසෝගේ සිතුවමක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. '1 Picasso for 100 Euros' නමින් ප්‍රංශයේ සංවිධානය කෙරුණු පුණ්‍යාධාර දිනුම් ඇදීමේ වැඩසටහනක් හරහා ඔහුට මෙම දුර්ලභ අවස්ථාව හිමි විය.
2026 අප්‍රේල් 14 වැනිදා පැරිසියේ ක්‍රිස්ටීස් (Christie’s) වෙන්දේසි මධ්‍යස්ථානයේදී පැවැත්වුණු මෙම දිනුම් ඇදීමේදී, 94715 දරන ඔහුගේ ප්‍රවේශපත්‍රය ජයග්‍රාහී අංකය ලෙස නිවේදනය කෙරුණි. කලාවට දැඩි සේ ලැදි අයෙකු වන ඔහු මෙම ප්‍රවේශපත්‍රය මිලදී ගෙන තිබුණේ දිනුම් ඇදීමට පෙර සතිඅන්තයේදී වීමද විශේෂත්වයකි.මෙලෙස ජයග්‍රහණය කරන ලද සිතුවම වන්නේ 1941 වසරේදී පිකාසෝ විසින් කඩදාසියක් මත අඳින ලද 'Tête de Femme' (Head of a Woman) නැමති ඉතා වටිනා කලා නිර්මාණයයි. එහි වටිනාකම යුරෝ මිලියනයක් (ඩොලර් මිලියන 1.1–1.2) පමණ වෙතැයි ගණන් බලා ඇත. සෙන්ටිමීටර 38.9 x 25.4 ක ප්‍රමාණයෙන් යුත් මෙම සිතුවම මගින් අළු පැහැති සහ ඒකවර්ණ නාද රටාවන්ගෙන් යුත් කියුබිස්ට් (Cubist) ශෛලියේ කාන්තා මුහුණක් නිරූපණය කෙරේ. දෙවන ලෝක යුද සමයේ පැරිසියේදී, පිකාසෝ සිය සුප්‍රසිද්ධ 'Guernica' සිතුවම නිර්මාණය කළ චිත්‍රාගාරයේදීම මෙයද නිර්මාණය කර ඇති අතර, මෙය ජාත්‍යන්තර කලාකෘති අලෙවි නියෝජිතායතනයක් වන ඔපෙරා ගැලරියේ (Opera Gallery) එකතුවෙන් ලබා ගත් එකකි.
ලොව පුරා විසිරී සිටින වයස අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා සහභාගී වීමට අවස්ථාව සලසා තිබූ මෙම වැඩසටහනේදී යුරෝ 100 බැගින් වූ ප්‍රවේශපත්‍ර 120,000ක් අලෙවි කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ. සියලුම ප්‍රවේශපත්‍ර දිනුම් ඇදීමට පෙරම අලෙවි වී අවසන් වූ අතර, ඉන් යුරෝ මිලියන 12ක මුදලක් රැස් කර ගැනීමට හැකි විය. නීත්‍යානුකූල නිලධාරියෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ සජීවීව විකාශය කෙරුණු මෙම දිනුම් ඇදීම, සාමාන්‍ය ජනතාවට ඉහළ වටිනාකමකින් යුත් කලාකෘතියක් හිමිකර ගැනීමට මෙන්ම යහපත් කාර්යයක් සඳහා දායක වීමටද සුවිශේෂී මාර්ගයක් විවර කර දුන්නේය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ ඇල්සයිමර් රෝගය පිළිබඳ පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමයි. ඒ අනුව, කලාකෘතියේ වටිනාකම පියවීමෙන් පසු ඉතිරි වන සම්පූර්ණ ශුද්ධ ලාභය ප්‍රංශයේ ප්‍රමුඛතම පෞද්ගලික ඇල්සයිමර් පර්යේෂණ අරමුදලක් වන 'Fondation Recherche Alzheimer' වෙත බැර කෙරේ. 2004 වසරේ සිට මේ දක්වා පර්යේෂකයන් 195 දෙනෙකු සඳහා යුරෝ මිලියන 29ක අරමුදල් සපයා ඇති මෙම ආයතනය, ලොව පුරා මිලියන 35කට අධික පිරිසකට බලපාන මෙම රෝගය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සහ සායනික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට එම අරමුදල් යොදවනු ලබයි.
පිකාසෝ වතුයායේ (Picasso Estate) පූර්ණ අනුමැතිය සහිතව සංවිධානය වූ මෙය ජනමාධ්‍යවේදිනියක මෙන්ම පරිත්‍යාගශීලිනියක වන පේරි කොෂින් සහ ඇගේ 'Aider les Autres' සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙවැනි දිනුම් ඇදීම් මාලාවක තුන්වන අදියරයි. මීට පෙර 2013 සහ 2020 වසරවලදීද මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර, ඉන් පිළිවෙළින් ලෙබනනයේ සංස්කෘතික ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 4.8ක් සහ අප්‍රිකාවේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 5.1ක් රැස් කර ගන්නා ලදී. එක්කෝ මිලියනයක් වටිනා පිකාසෝ සිතුවමක් දිනා ගැනීම හෝ එසේ නැතහොත් වෛද්‍ය පර්යේෂණයක් ඉදිරියට ගෙන යාමට උපකාරී වීම යන කාරණා මත, මෙහි අලෙවි වූ සෑම ප්‍රවේශපත්‍රයක්ම ජයග්‍රාහී එකක් බව සංවිධායකයෝ අවධාරණය කරති.