சாமணர துஷ்பிரயோகம் காரணமாக 20 வருடங்களுக்கு சிறையில் அடைக்கப்பட்ட பிக்கு விடுதலை செய்யப்பட்டார்

the-monk-who-was-jailed-for-20-years-for-abusing-laymen-is-freed

බාල වයස්කාර හිමිනමක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වී, බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම වී සිටි හිමි නමක් එම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මීට පෙර ලබා දී තිබූ එම දඬුවමට එරෙහිව අදාළ විත්තිකාර හිමිනම ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.

අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, විනිසුරු ශම් මහේන්ද්‍රන් මහතා ඒ සඳහා සිය එකඟතාව පළ කර ඇත.




නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණේ 2018 වසරේ මාර්තු මස 05 වැනිදාත් එම මස 31 වැනිදාත් අතර කාලසීමාව තුළ බාල වයස්කාර සාමනේර හිමිනමක අපයෝජනයට ලක් කළ බවට පවසමිනි. දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරු එම චෝදනාවට වරදකරු බව තීරණය කළ මහාධිකරණය, ඔහුට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් මෙන්ම රුපියල් ලක්ෂයක දඩයක් සහ වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද නියම කර තිබුණි.

තමන්ට එරෙහිව මහාධිකරණය ලබා දී ඇති එම දඬුවම නීති විරෝධී බව පවසමින් විත්තිකාර අභියාචක හිමිනම අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන ලෙසයි. අදාළ පැමිණිලිකාර බාල වයස්කාර හිමිනමගේ පියා තමන් සමඟ පැවති පුද්ගලික එදිරිවාදිකමක් හේතුවෙන් මෙවැනි අසත්‍ය චෝදනාවක් එල්ල කර ඇති බවත්, මහාධිකරණ නඩු විභාගයේදී පැමිණිල්ල විසින් මෙම චෝදනා නිසි ලෙස තහවුරු කර නොමැති බවත් විත්තිකාර පාර්ශ්වය සිය අභියාචනය මඟින් පෙන්වා දී තිබේ.




ඉදිරිපත් වූ සියලු කරුණු සහ සාක්ෂි ඉතා සූක්ෂ්ම ලෙස විමර්ශනය කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ, මහාධිකරණයේදී විත්තිකරුට එරෙහිව එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි. මේ හේතුවෙන් මහාධිකරණය ලබා දී තිබූ දඬුවම සහ නියෝග බලරහිත කළ විනිසුරුවරුන්, විත්තිකාර අභියාචක හිමිනම අදාළ සියලු චෝදනාවලින් නිදහස් කරන බව සිය තීන්දුව මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

Post a Comment

Previous Post Next Post