
භෞතික සැප සම්පත්, නිමක් නැති ආශාවන් සහ ඉහළම අධ්‍යාපන සුදුසුකම් පසුපස හඹා යන නූතන තරඟකාරී සමාජයක, ඒ සියල්ල අතහැර දමා සදාකාලික සුවය සොයා යන අපූරු තරුණයෙකු පිළිබඳව බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. ලෝකයේ නවීනතම විද්‍යාව සහ තාක්ෂණය මෙන්ම රොබෝටික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ද දෙස් විදෙස් විශ්වවිද්‍යාල ගණනාවකින් ඉහළම උපාධි ලබාගත් ඔහු, සියලු ලෞකික සැප සම්පත් යනු හිස් මුලාවක් බව පසක් කර ගනිමින් බුද්ධ චීවරය දරාගත්තේ කාගේත් නෙත්වලට කඳුළක් එක්කරමිනි.
මෙලෙස ලෞකික ජීවිතයෙන් සමුගෙන පැවිදි දිවියට ඇතුළත් වූයේ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි කුරුවිට ආරච්චිලාගේ ප්‍රවීන් නිසල් සේනාරත්න නම් තරුණයායි.බණ්ඩාරවෙල, කිතල්ඇල්ල ප්‍රදේශයේ පිහිටි නිස්කලංක පරිසරයකින් යුතු රත්මල් කන්ද ආරණ්‍ය සේනාසනයේදී ඉකුත් බිනර පුර පසළොස්වක පෝය දින මෙම උතුම් පැවිදි පින්කම ඉතා චාම් අයුරින් සිදු කෙරිණි. ඒ, එම ආරණ්‍ය සේනාසනාධිපති, කමටහන් ආචාර්ය පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙනි. විහාරස්ථ දායක සභාවේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවති මෙම පින්කම දැකබලා ගැනීම සඳහා ප්‍රවීන්ගේ මෑණියන් ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද එක්ව සිටියහ. තමන් දැඩි සේ ආදරය කළ සිය ආදරණීය පුත්‍රයා සසුන්ගත වන මෙම සංවේදී දසුන සියැසින් දැකබලා ගැනීමට තරම් තම සිත ශක්තිමත් නොමැති බව පවසමින්, වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන ඔහුගේ පියා මෙම අවස්ථාවට සහභාගී වී නොතිබීම කාගේත් හදවත් කම්පා කරවන සංවේදී සිදුවීමක් විය.
ප්‍රවීන් නිසල් සේනාරත්න නම් වූ මෙම තරුණයාගේ අධ්‍යාපනික පසුබිම සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා විය නොහැකි තරම් ඉතා විශිෂ්ට එකකි. මෙරට ප්‍රධාන පෙළේ පාසලකින් මූලික අධ්‍යාපනය ලබා, අනතුරුව විදේශ රටවල් කිහිපයකදීම ඔහු සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබුණි. ගිහි දිවිය අතහැර බත්තරමුල්ලේ නාරද යන උතුම් පැවිදි නාමයෙන් සසුන්ගත වූ ඔහු, සිය අතීතය සහ ගිහි ජීවිතය පිළිබඳව මෙලෙස අදහස් පළ කළේය.
“මම ඉගෙනගත්යත් කොළඹ රෝයල් කොලේජ් එකේ. වැඩිදුර අධ්‍යාපනයට ව්යට්නාමයට ගිනින් HANO විශ්වවිද්‍යාලයෙන් විද්‍යාහා හා තාක්ෂණ උපාධිය ඉබාගත්තා, ඊට පස්සේ මාස්ටර් එක කරන්න ඕස්ට්‍රේලියාවට ගිගින් දකුණු විශ්වවිද්‍යාලයේදී (msc in cyber security) රොටැක්ටික් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගත්තා. මේ කාලේ යහළු යෙහෙළියෝ ගොඩාක් ඇසුරු කර හොඳට විනෝද වුණා. නමුත් මේ සියලු දේ අනිත්‍යයි කියලා, මේ යන්නේ කෙළවරක් නැති ගමනක් කියලා අවබෝධ වූ නිසා සදාකාලික සුවය සොයා පැවිදි වුණා '' යැයි බත්තරමුල්ලේ නාරද නමින් පැවිදි වූ කුරුවිට ආරච්චිලාගේ ප්‍රවීන් නිසල් සේනාරත්න පැවසීය.
ගිහි දිවියේ අවසන් මොහොතේ, සුදු පැහැති දිග කලිසමකින් සහ බැනියමකින් සැරසී සිටි 29 හැවිරිදි මෙම කඩවසම් තරුණයා සිය ආදරණීය මෑණියන්ගේ දෙපා නැමද අවසර ගත් මොහොත මුළු මහත් ධර්ම ශාලාවම සංවේදී කළ දසුනක් විය. එහි පැමිණ සිටි පවුලේ ඥාතීන්ගේ මෙන්ම පෙහෙවස් සමාදන්ව සිටි උවැසි උවැසියන්ගේ ද නෙත් අගට කඳුළු එක් කිරීමට එම හැඟුම්බර අවස්ථාව සමත් විය. එහෙත්, සියල්ල උපේක්ෂාවෙන් දරාගත් ඒ ධෛර්යවන්ත මෑණියන්, ඉතා සිනාමුසු මුහුණින් යුතුව තම පුතුගේ හිස අතගා පැවිදි දිවියට ආශිර්වාද කළාය.
ඉන් අනතුරුව, රත්මල් කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ විසින් සෙත් පිරිත් සහ ගාථා සජ්ඣායනා කරමින් පැවිදි කිරීමේ චාරිත්‍ර ආරම්භ කරන ලදී. උපාලි හිමියන් පැවසූ ගාථාවන් හඬ නගා කියූ ප්‍රවීන්ගේ ලස්සන හිසකෙස් රොදක් කපා පැවිදි සිරිත් ඇරඹීමෙන් පසු, ඔහුව විශේෂ කුටියක් වෙත කැඳවාගෙන ගොස් හිස මුඩු කර, කසාවත් සිවුරෙන් සරසවා නැවත ධර්ම ශාලාව වෙත වැඩම කරවන ලදී. ඒ, බත්තරමුල්ලේ නාරද ස්වාමීන් වහන්සේ ලෙසිනි. අනතුරුව මඩවල උපාලි හිමියෝ පැමිණ සිටි පිරිසට අනුශාසනා කරමින් මෙසේ අදහස් දැක්වූහ.
"මේ තරුණයා මා සොයා ගෙන ඇවිත් පැවිදි වෙන්න අවශ්‍ය බව කිව්වා. එහෙම ආවට ගියාට පැවිදි වෙන්න බැහැ. මෙහි නැවතිලා භාවනා කරලා ඉන්පසු දෙමාපියන්ගේද කැමැත්ත ඇතිව පැවිදි වීම ගැන සිතා බලමු " යැයි කීවා.ඒ අනුව මාස 2 පමණ කාලයක් භාවනායෝගිව සිටියා. ගැඹුරු ධර්මය පිළිබඳ සොයා බැලීම අධ්‍යයනය කිරීම වැනි ලක්ෂණ ඔහු තුළ ඹා දුටුවා.මේ ආරණ්‍ය සේනාසනයේදී උගත් බුද්ධිමත් විදේශිකයෝ කාලයක සිට පැමිණ පැවිදි වෙනවා. ලෝකයේ විවිධ රටවලින් වෛද්‍යවරු, ඉංජිනේරුවන් ඔහාචාර්යවරු වගේම අධිසැප ලබා ජීවිතය කලකිරුන ධනවත් තරුණ තරුණියන් ද ඒ අතර සිටිනවා. නමුත් මේ පැවිදි පින්කම් අතර මේ පින්කම විශේෂ එකක් ' යැයිද උන් වහන්සේ පැවසූහ.
නවක පැවිදි දිවියට ඇතුළත් වූ බත්තරමුල්ලේ නාරද හිමියෝ තමන් වහන්සේ පැමිණි ගමන් මග පිළිබඳව සිය අත්දැකීම් විස්තර කළේ මේ අයුරිනි.
"මට කුඩා කාලයේ සිටම පැවිදි වෙන්න ආශාවක් තිබුණා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉංජිනේරුවෙක් ලෙස විභාගය සමත්වුනට පස්සේ දෙමාපියන්ගේ ඉල්ලීම මත මාස්ටර් එක කරන්න ඔස්ට්‍රේලියාවට ගියා. අක්කා ඉන්නේ අඩ් වල වලි එහේ ගිහින් මාස්ටර් එක කරද්දිත් හිත දුන්නේම මහණ වෙන්න. ඔහොම ඉද්දි ලංකාවට මම ආවා. මුලින්ම ගියේ අරක්කැලේ වතා මධ්‍යස්ථානයකට. එහිදී ටික දවසක් භාවනා කරන කොට මට උපාලි හාමුදුරුවන් ගැන දැනගන්න ලැබුණා. අපේ හාමුදුරුවෝ විද්‍යා අංශයෙන් ඉගෙන ගෙන පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු රැකියාව කරද්දී ඒකෙක් අස්වෙලා ඇවින් පැවිදි වූ බවත්, නිස භාවනාව, පරිසරය, තාත්‍යක්ෂණය විෂයන් වගේම විවිධ පර්යේෂණ සිදු කරමින් නවෝත්පාදන බිහිකරන යතිවරයෙකු බවත් දැනගත්තම ඔඔ අධිෂ්ඨාන කරයත්තා කවද හරි මගේ ගුරුදේවයාණන් හැටිය උපාලි හාමුරුවෝ ළඟ මහණ වෙන්න ඕන කියලා. ඒ අනුව රත්ලෙකන්ද ආරණ්‍ය සේනානායකට ආවා" යැයිද උන් වහන්සේ පැවසුහ.
සිය ආදරණීය පුත්‍රයාගේ උතුම් තීරණය පිළිබඳව අදහස් දැක්වූ නාරද හිමියන්ගේ මෑණියන් වන, බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි අශෝකා එගොඩවත්ත මහත්මිය මෙසේ පැවසුවාය.
“මට අද හරිම සතුටු දවසක්, පුතා වස අවුරුදු 4 ඉඳලාම මහණ වන්නා ආයාවකින් හිටියා. උසස්පෙළ කරද්දිත් මහණ වෙන්න ඕන කියලා කිව්වම මගේ මහත්තය ඊට කැමැති වුණේ නැහැ. මේ දර්ශන දකින්න අමාරුයි, දුකයි කියලා එයා මේ පින්කමට ආවෙත් නැහැ. එයාට සංවේදී දේවල් දරන්න බැහැ. මගේ මහත්තයා ඉංජිනේරුවෙක්. මම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරියක්, විශ්‍රාමිකයි. මගේ දුව නිසංසලා, එයා ඕස්ට්‍රේලියාවේ CYBERSECURITY CONSULTANT කෙනෙක්. මහත්තයගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ පුතා ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරුවෙක් බවට පත්කරන්න, නමුත් පුතා නිවැරැදි ඔහු තෝරාගත්ත කියලා මට ගියකෙනවා" යැයිද අශෝකා මහත්මිය පැවසුවේ හැගුම්බරවය.
සියල්ලන්ගේම නෙත්වලට කඳුළු එක්කරමින්, එම ධෛර්යවන්ත මෑණියෝ අටපිරිකර පූජා කර සිය ආදරණීය පුතුගේ දෙපා වඳිද්දී, මුළු මහත් ධර්ම ශාලාවම රැස්ව සිටි පිරිසගේ සාධු නාදයෙන් පිරී ගියේය. නූතන ලෝකයේ සියලු සැප සම්පත් අතහැර බුද්ධ පුත්‍රයෙකු ලෙස නාරද හිමියන් ආරම්භ කළ ඒ උතුම් ගමන කාගේත් හදවත් තුළ ගැඹුරු ධර්ම සංවේගයක් ජනිත කිරීමට සමත් විය.