පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනවලට අනුබල දීම යන චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ මෙම නඩුවේදී, ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරුන් විත්තිකරුවන් වරදකරුවන් බවට තීන්දු කළහ. පැය හතරකට අධික කාලයක් පුරා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිදු වූ අතර, විනිසුරු විරාජ් වීරසූරිය මහතා ප්‍රකාශ කළ සුළුතර තීන්දුවෙන් සඳහන් වූයේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.
පූජිත් ජයසුන්දර මහතාට අදාළ බහුතර විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මෙසේ සඳහන් කළේය. “පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පාස්කු ඉර්දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා”
එසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 855න් චෝදනා 854කටම ඔහු වරදකරු බව බහුතර විනිසුරුවරු තීන්දු කළහ. එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරුන් පෙන්වා දුන්නේ, “පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා. නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගතයුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ. මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳටම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.”
සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබල දීම ඇතුළු චෝදනා 850කට අධික සංඛ්‍යාවක් බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් මොවුන් දෙදෙනාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වෙන වෙනම නඩු ගොනුකර තිබුණි. 2022 පෙබරවාරි මාසයේදී මහාධිකරණය විසින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් පවා තොරව මොවුන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළද, එම තීන්දුව දෝෂ සහිත බව පවසමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව නැවත විභාගයට ගන්නා ලෙස දුන් නියෝගයට අනුව නඩුව නැවත කැඳවීමෙන් පසුව මෙලෙස මරණ දඬුවම නියම කෙරිණි.
මෙලෙස මරණ දඬුවම හිමි වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා 1949 ඔක්තෝබර් 12 වනදා උපත ලබා ඇති අතර, බොරැල්ලේ සීවලී විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විශේෂ උපාධිය ලැබූ ඔහු, 1972දී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වී කමාන්ඩර් ධූරය දක්වා සේවය කළේය. පසුව සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කළ ඔහු දුම්රිය පිළිබඳ කෘති තුනක් ද රචනා කර තිබේ. 1994දී අගමැති ලේකම් ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම්, ගුවන්තොටුපල හා ගුවන් සේවය, මහජන බැංකුව, ස්වාධීන රූපවාහිනිය, ආයෝජන මණ්ඩලය යන ආයතනවල සභාපති ලෙසත්, 1997 සිට 2018 දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කර ඇත. 2018 සැප්තැම්බර් මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසත්, දෙසැම්බර් 21 දා ආරක්ෂක ලේකම් ලෙසත් පත් වූ ඔහු, පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් 25 දා ඉල්ලා අස්වූ අතර ජූලි 2 දා CID මගින් අත්අඩංගුවට ගැනිණි.
අනෙක් විත්තිකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 1985 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවයට එක්වී, 1991දී පොලිස් අධිකාරී, 1996දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, 2005දී නියෝජ්‍ය පොලිස්පති සහ 2010දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස්වීම් ලැබීය. එන්. කේ. ඉලංගකෝන් මහතාගේ විශ්‍රාම යාමෙන් පසු 2016 අප්‍රේල් 20 වනදා ඔහු පොලිස්පති ලෙස පත් කෙරුණි. පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් 29 වනදා ජනාධිපති නියෝග මත ඔහුව අනිවාර්ය නිවාඩු යැවුණු අතර, එය නීති විරෝධී බව කියමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. 2019 ජූනි 06 දා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දුන් ඔහු, 2018 ඔක්තෝබර් 23 දිනෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට තමන් සහභාගී නොවිය යුතු බව ජනාධිපතිවරයා පැවසූ බව එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා තමන්ට දැනුම් දුන් බවත්, ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවත් අනාවරණය කළේය.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවට වින්දිතයන්ගේ ඥාතීන් ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කළ පෙත්සම් 12ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, 2023 ජනවාරි 12 වනදා නියෝග කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන (රුපියල් මිලියන 100), පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන (රුපියල් මිලියන 75 බැගින්), හේමසිරි ප්‍රනාන්දු (රුපියල් මිලියන 50) සහ සිසිර මෙන්ඩිස් (රුපියල් මිලියන 10) යන පිරිස වන්දි ගෙවිය යුතු බවයි. ඒ අනුව පූජිත් ජයසුන්දර මහතා 2024 වසරේදී තමන්ට නියම වූ රුපියල් මිලියන 75ක වන්දි මුදල ගෙවා නිම කළේය.
මේ අතර, 2017 අප්‍රේල් 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන ක්‍රියාකරුවෙකු වූ ඒ.එච්. සමරකෝන් බණ්ඩා නැමැති නිලධාරියාට පහර දීමට තැත් කිරීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2025 සැප්තැම්බර් 3 වනදා තීන්දු කළේය. විත්තිකරු එම ක්‍රියාව චේතනාන්විතව සිදු කර නොමැති බවත් පැමිණිලිකරුගේ රාජකාරියට අගතියක් වී නොමැති බවත් සඳහන් කරමින් එම නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කෙරිණි.